Sri Lanka

Thursday, November 28, 2013

හිනැහේවී බොනික්කා ඇස් නටවා බල බලා


මේ ලිපිය ලියන්න හිතුනෙ මේ ඇරඹිලා තියෙන්නෙ පෙර පාසල් වල අවසාන විවිධ ප්‍රසංග පැවැත්වෙන කාලය හින්ද. එහෙම කියද්දි කට්ටියටම මතක් වෙනව ඇති තම තමන්ගෙ පුංචි කාලය. හරිම සුන්දරයි නේද. මතක් කරන්න මතක් කරන්න හරිම ආසා හිතෙනව. මේ ලිපිය ලියන්න අදහසක් අවේ අද මෙහෙ පෙර පාසලේ විවිධ ප්‍රසංගය බලන්න එන්න කියල අයේ යෞවන සමාජයටත් ආරධනයක් ලැබුණ හින්ද තමයි.

ඉතින් මේ එළඹිලා තියෙන්නෙත් ඒ වගේම අවුරුද්දක් තිස්සෙ පෙර පාසල් සෙවනෙ හැදිච්ච වැඩ්ච්ච මල් කැකුළු ටිකක් විකසිතවෙන්න වෙර දරන මොහොතක්. මල් වගේ පුංච් හිත් සතුටෙන් පිනා යන බොහොම සුන්දර දවසක්. මේ තුළ ඇති අපූර්වත්වය අපි ඒ තුළට සම වැදිල විදගන්න ඕන. 

ඒ මල් වගේ පුංචි හිත් වල තියෙන්නෙ සුන්දරත්වයම විතරයි. ඒ පුංචි ලෝකයේ මැවෙන ලස්සන ලස්සන හීන විතරයි එවුන්ගෙ හිත් වල තියෙන්නෙ. ඔවුන් තුල වර්ග, වාද, පන්ති භේද, කළු සුදු හේද මුකුත්ම නැහැ. ඒ ලෝකෙ තියෙන්නෙ පාට පාට ලස්සන මල්, පුංචි සමනල්ලු, රාජ කුමාරයෝ, කුමාරිකාවො, දෙවිවරු මේ වගේ තවත් ගොඩක් දේවල්. 

ඉතින් අවසාන විවිධ ප්‍රසංගයට ආවම තමන්ගෙ අම්මල තාත්තලා නෑදෑයො ඉස්සරහදි තමන්ට පුලුවන් හොදම දේ කරල පෙන්නන්න තමයි මේ පොඩ් එවුන් උත්සාහ කරන්නෙ. අපිත් පෙර පාසල් යන කාලෙ එහෙම තමයි. මේ කාලෙ අපිට හොදින්ම මතක තිබුණ කවි සින්දු ටිකක් තිබ්බ. ඒ හිනැහේවී බොනික්කා, ආජි තපර ලාහිලා, දොම්පෙට යන පාර කොයිබදෝ, පේළි පේළි පේළි සැදී ආදි තවත් බොහොමයක් ඒවා. ඒ අවුරුදු 20කට 30කටත් එහා අතීතය. නමුත් පුදුමය නම් මේවා වර්ථමානයේ ප්‍රසංග සදහාත් භාවිතා කරන එකයි. ඒ ඒවා තුළ තිබෙන්නා වූ සුන්දරත්වය කවදාටත් ගැලපෙන නිසයි.

මේ ගීත අතරින් හිනැහේවී බෝනික්කා ගීතය අපි කාගෙත් හිත් වල පුදුමාකාර විදියට පැල පදියම් වෙලා තියෙන්නෙ. බොහොම මිහිරි තනුවක් තියෙන්නෙ එ ගීතයයෙ. ලොකු දෙයක් නෙමෙයි අම්මෙක් දරුවෙකුගෙ උපන්දිනේට බෝනික්කෙක් තෑගි දීල. ඒත් මේ පුන්ච් සිද්ධිය ගීත රචකය වර්ණනා කරල තියෙන අපූරුව බලන්නකො. මේ ගීතය ලියල තියෙන්නෙ මීට අවුරුදු 40කටත් කලින්. හැබැයි ඒත් කණගාටුවට කරුණ නම් මේ දරුව නලවලා තියෙන්නෙ ලංකාවෙ හැදුව බෝනික්කෙක් නම් නෙමෙයි ජපානෙ හදල මෙහෙට ගෙනාව එකක් තමයි. ලියුවෙ කවුද කියන එක නම් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. අපි හොයාගත්ත විදියට මුලින්ම ගායනා කරල තියෙන්නෙ මල්ලිකා කහවිට කියන ගායන ශිල්පිණිය තමයි. 

හිනැහේවී බොනික්කා ඇස් නටවා බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි  දොයි දොයි බබා

ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
උපන්දිනේ
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගෙ ලස්සන බෝනික්කා හිනැහේවී බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා

මල් ගවුමක් අන්දාලා නනලලට තිලකය තියා
තොඩු දෙකක් කනට දමා අතට වළලු දාලා
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලමි කෙරුමට කියා
ගමේ ළමො
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලමි කෙරුමට කියා
මගෙ ලස්සන බෝනික්කා හිනැහේවී බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා




Wednesday, November 20, 2013

හිට හිට තල උදුරනවද? වැර බිද මගුලෙ යනවද?


විවිධ මාතෘකා ඔස්සෙ ලිපි ලියමින් උන්න අපිට හිතුන පොඩ්ඩක් වෙනස් ආරක් අත්හදා බලන්න. අපි අරන් ආව ගැමි කතාවක්. මේක කියවලා හින වෙන්නත් පුලුවන්. අතීතයේ ගම්වල සිදුවුන රසබර සිදුවීම් මේ විදියට අහන්න ලැබෙන එකත් ඇත්තටම සතුටක්. ටයිප් කරද්දි වැරදිලා ඇති ඒව ගැන හිතන්නැතුව කතාව කියවයි කියල අපි බලා පොරොත්තු වෙනව.

දියුණු ප්‍රවාහන පහසුකම් නොතිබ්බ අතීතයේ අපේ රටේ මංගල ගමන් බිමන් ගිහින් තියෙන්නෙ ගොඩක් වෙලාවට පියින් තමයි. මනාලියක් කැන්දාගනෙ ඒම වගේ සුවිශේෂ අවස්ථාවලදී ගොන්බැදි කරත්ත සරසා භැවිතා කරල තියනව. එහෙම උනත් මංගල ගමන් අද වගේ සංකර සංස්කෘතියකින් කෙළෙසිච්ච කෙලි කොළු කුරුට්ටන්ගේ විනෝද සවාරියක් නම් වුනේ නෑ. ඒවට සහභාගී වෙච්ච අය බොහෝ ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටියෝ වගේම ඔවුන් ගමේ පළාතේ පිළිගත් වැදගත් උදවිය. අදත් මනමලිගෙ ගෙට ගොඩවන විට මනාලියගේ සොයුරෙකු මනාලයාගේ පා දෝවනය කිරීමේ චාරිත්‍රය ඉතුරුවෙලා තියෙන්නෙ එදා මංගල ගමන් බොහෝ දුරට පයින්ම වෙච්ච හින්ද කියලයි අපි හිතන්නෙ.

ඒ වගේම එදා මනමාලිගෙ පිරිස දෙවැනි ගමනේදී මනාලයාගේ නිවසට තෑගිබෝග රැගෙන යද්දිත් මනමාලයගෙ පිරිස මනාලිය කැන්දාගෙන යන අවස්ථාවලදීත් රසවත් බුද්ධිමත් එසේම වැදගත් අභියෝග වලට මුහුණ පෑමට සිදුවුනා. කඩුලු තහංචිය, ජල බදුන් තහංචිය, තේරවිලි කවි, තේරුම් ව්‍යංජන දැනමුතු කතා ආදියෙන්ද එදා මංගල උත්සව විචිත්‍රවත් වෙලා තිබ්බ. මනාල යුවළ අරඹන යුගදිවිය සාර්ථක කරගැනීමට දෙන උපදෙස් කවි, කතා, ගාථා, ශ්ලෝක ආදියත් අහන්න දකින්න ලැබුණ. ඒ හින්ද මංගල ගමනකට සහභාගීවන පිරිස ගොඩක්ම දැනමුත්තෝ තමයි.

ඒ කාලෙ අනුරාධපුරේට ළග ගමක උන්න ගැනේරිස් කිවල මාම කෙනෙක්. උන්දැ අර්ථයෙන් ධර්මයෙන් ගැදියෙන් පැදියෙන් ශ්ලෝක ගායනයෙන් ඒන ඕනැම දේකට මුහුණ දෙන්න දස්සය. උන්දැ හේන් ගොවිතැනටත් බොහොම දස්සය. ගමේ කොයි කරවුරුත් ගොවිතැන් ගැන උපදෙසක් ගන්න ආවෙ උනැදැ ළගට. 

දවසක් ළග ගමක පදිංචි ගුනේරිස් මාමලට දුරිනු නෑදෑ වෙච්ච කෙනෙකු ගනේරිස් මාමාට බුලත් දීල ආරාධනා කෙරුව  බිරිදත් එක්කම තමුන්ගෙ දියණියගෙ මංගල උත්සවේට සහභාගි වෙන්නයි, පහුවදා මනමාලයගෙ ගෙදරට යන්නයි. මේ ගමන් දෙකේම ප්‍රධාන දැනමුත්ත විදියට කටයුතු කරන්නත් ගුණේරිස් මාමටම පැවරුව.
මේ නෑයගෙ ගෙදර මගුලට පළවෙනි දවසෙ සහභාගි වුන ගුණේරිස් මාමාට දැනගන්න ලැබුණ මනමාලයගෙ ගම කිතුල් රා වලට ප්‍රසිද්ධ බව. ඉතින් මුන්දැටත් කිතුල් රා බීමේ ආශාවක් ඇති උනා. ඒ ගැන තොල කට ලවෙ කන ගමන් මනමාලයගෙ නෑදෑයින්ගන් ඒ පැත්තෙ වගතුගත් අහල බැලුව. 

ඊළගට ගුනේරිස් මාමාට ප්‍රස්නයක් ආව. ඒ ඉතින් මුනුදැත් එක්ක ගෙදර මහ උනදැත් පිටත් වෙනවනෙ. මොකද මහ උන්දැ ගුනේරිස් මාම මත්පැන් බොනවට තිදින්ම විරුදධයි. ගුණේරිස් මාම තරුණ කාලෙ හීනියට අඩියක් පුඩියක් ගැහුවට ඒකත් අතෑරල දැම්මේ මහ උන්දැගෙ කන් කරච්චලෙන් බේරෙන්න බැරි හින්දමයි. සමහරදාට බීල ආවම මහ උන්දැ රණ්ඩු කරලත් තියනව. ඒත් හැබැයි හොදක් තියෙන්නෙ කවදාවත් දාල නම් ගියේ නෑ. ඒ වගේමයි ගුණේරිස් මාමා තමන්ගෙ බීමත් කමට විරුද්ධව කෑ ගහන බිරිදට නිය පිටින්වත් පහරක් ගහල නම් නැහැ. ගුණේරිස් මාමා ඉතින් තමන්ට අඩියක් ගහන්නට කතා කරන අයට කිවුවෙ "ගෑනි මං බොනවට විරුද්ද වෙන්නෙ තරහට නෙමෙයිනෙ මට තියෙන ආදරේ වැඩි කමටනෙ. බොන්ඩ ඇබ්බැහි උනොත් හම්බ කරනදේත් විනාස වෙලා මාත් ලෙඩ වෙලා ඉක්මනින්ම මැරිල යනවනෙ" කියලයි.

ඒත් හැබැයි මේ ගමනෙදිනම් කිතුල් රා ටිකක් තොල ගාන්න ගුණේරිස් මාමට හිතිලයි තිබ්බෙ. ඒත් ඉතින් ඒකට තියන එකම බාධාට තමයි මහ උනදැ. මහ උන්දැත් එක්ක නොගිහින් තමන්ම විතරක් යන ක්‍රමයක් කල්පනා කරන ගමන්ම පහුවදා එන බව කියල බිරිදත් එක්කන් ගෙදර ආව. ඒ එන ගමන්ම මහ උන්දැත් එක්ක හේන පැත්තටත් ගියා. මේ වතාවෙ ගුණේරිස් මාමගෙ තලහේන හොද සරුවට හැදිල තිබ්බ. තල ගස් හොද ගානට පැහිල කොල වැටිල කරල් බේරිලයි තිබ්බෙ. අහල පහල හේන් වල ගොවියො තල ගලවනව. මේක දැකපු නැන්ද කටේ රැල් බුරුල් ඇරිය "මේ ඇහුනද, තල ටික නම් හොදටම පැහිල අව්ව වැඩි හින්ද කරල් ටික පුපුරලා ඇට බිමට වැටෙන්නත් ළගයි. හෙට ඉදලම තල උදුරමු නේද?" කියල.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ගුණේරිස් මාමා "ඒක තමයි මේ මාත් කල්පණා කොලේ එහෙනං හෙට ගමන නවත්තලා තල ගලවමුද?" කියල කිවුව. "ඒක තමා නේද?" කියල නැන්දත් නිහඩ උනා. හැබැයි ඒකෙන් මහ උන්දැගෙ හිතෙත් මගුලට යන්න ආසාවක් තියෙන බව මාමාට තේරුණා. ගුණේරිස් මාමා අයේත් කිවුව " මේ ඇහුනද ඔය ගමන හූ සියයක් විතර දුරයි. හරිහ මහන්සියෙන් කදු නැගල බැහැල තමයි යන්ඩ වෙන්නෙ. උඹලට ඔය දණිස් අමාරුව හින්දා එච්චර දුරක් පයින් පයින් ගාටන්න මාරුයි. නරකද වැර බිද මගුලෙ යනවට වඩා හිට හිට තල උදුරන එක" කියල ඇහුව. පොඩ්ඩක් නිහඩ වෙලා කල්පනා කරපු නැන්ද "මට මේ හති කැක්කුම් හින්ද පයින් ගාටන්නත් අමාරුයි තමා. මම පුළුවං හැටියට හිට හිට තල උදුරන්නම් උඹලා මගුලේ ගිහිං පරිස්සමෙන් වරෙල්ලා කීවාය. 

ගුණේරිස් මාමා මංගල ගමන ගිහින් කිතුට් රා ටිකක් එහෙම තොල ගාල ආපහු එමිං ගමන වැවට පැනල නාගනෙ තේගිස් මුදලාලිගෙ කඩෙන් විටක් එහෙම සප්පායම් වෙලා ගෙදර ආවෙ උපාසකය වගේ. ඒක එහෙම උනත් පස්සෙන් පහු මංගල සභාවකදි ගුණේරිස් මාමාගෙ කටින්ම මේක එලියට ඇවිදින් කට්ටියම මේක දැනගත්ත.

ඉතින් තවත් ගම්බද ප්‍රෙද්ශ වල "හිට හිට තල උදුරනවද? වැර බිද මගුලෙ යනවද?" කියල පිරුලක් හැදිල තියෙන්නෙ මේන්න මේ හින්ද තමයි.


Sunday, November 17, 2013

රන් වන් තල මල පිපුනා දුටුවද..?


අපේ ගෙදර ඉස්සරහම ලස්සන තල මලක් පිපිල තියනව. මේක දැක්කම මතක් උනේ කල ගස ගැන තල මල ගැන කොච්චර ලස්සන දේවල් කියන්න තියනවද. අපේ සාහිත්‍යෙයත් තල මල ගැන කතා කරල තියනවනෙ. මේ ගැන මම දැනන් හිටිය විස්තර වගේම මම සිළුමිණ පත්තරෙන් උපුට ගත්ත කොටස් එක්කරල මේ ලිපිය ලිවුවෙ මේ ගැන දන්න නොදන්න හැමෝටම දැනගන්න.
අප රටේ ගම්බද ප්‍රදේශවල වැවෙන තල ගස සහ තල මල පිළිබඳ ගෙතුණු ජන සාහිත්‍යයක් පුරාණයේ සිටම පැවත එන බව අපි දනිමු. ඒ තරමටම තල ගස අසිරිමත් නිර්මාණයකි. එහි විශාල වූ හා උස් වූ කඳ, විශාල පත්‍ර, ගස වර්ධනය වී අවසානයේ එහි විනාශය උදා කරවමින් පිපෙන අලංකාර තලමල සුවිශේෂී දර්ශනයන්ය.
තල ගස සහ තල මල අරභයා ගෙතුණු පේනකවි ප්‍රමාණය ද මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එක් ජන කවියකු තල මල දුටුවේ මෙලෙසිනි.

අහස උසැති උස පමණෙකි තල මල කි
මුහුද කිරුළ දිය පිට යන තල ගොයෙ කි
දේස දේසවල තියෙනා සත් නමෙ කි
මෙවැනි අවතාර අම්මේ තල මල කි
තල මලක් පිපීම චමත්කාරජනක දසුනක් වුවත් ගැමියා, එදෙස බලන්නේ වෙනත් හැඟීමකිනි. තල මල තල ගසේ අවසානය හෙවත් විනාශය උදාකරවයි. එබැවින් තලමල සෞභාග්‍යයේ සංකේතයක් නොව ගමක් පාළු වී යා හැකි බවට කෙරෙන ඉඟියක් සේ ගැමියෝ සිතති. ගමක එකවර තලමල් හතක් පිපුණේ නම් ඒ ගමට ඉතාමත් අපලකාරී, විනාශකාරී අත්දැකීම්වලට මුහුණ පානන්නට සිදුවෙතැයි ගැමියන්ගේ සිත්හී උපදින්නේ කනස්සල්ලකි.
විදේශිකයන් අප රටේ දී දක්නට ලැබෙන මෙම දුලබ දසුන් විවිධාකාරයෙන් වර්ණනා කිරීමට උත්සාහ කොට ඇත. දොස්තර ජෝන් ඩේව් ඩේව් දුටු ලංකාවනමැති කෘතියේ ලා තල මල පිළිබඳ මෙසේ සටහන් කරයි.
තාල වර්ගයේ විශාලතම වෘක්‍ෂය වන මීට අඩි විස්සක්, තිහක් වට අවාන් හැඩයෙන් යුත් කොළ ඇත්තේය. එක් වරක් පමණක් පිපෙන එහි මල කේතුරූපාකාර කැනකි. කලාතුරකින් අඩි 30 ක් උස්ය.
තල ගස නිතර නිතර දක්නට ලැබුණි. මල් පිපුණු තල ගසක් ද අපි දුටිමු. මේ උත්තුංග තාල වෘක්‍ෂය කල්පිත කතා බොහෝ ගණනකට විෂයය වෙයි. එයට වනරාජයයි කියන ලදී. එහෙත් පොල් ගස මෙන් මෙය ද කිසි විටෙක වනගතව දක්නට නොලැබෙයි.
මෙහි මල් කොපුව ඝෝෂා සහිත පිපිරීමකින් යුක්තව වහා ඉහිරේ යයි කියති. එහෙත් එය ක්‍රමයෙන් සහ සෙමින් විහිදෙයි. මල හටගත් විට කොළ එල්ලී වැටී මැරේ යයි කියති. එසේ වුවද මේ කොළ, ගෙඩි තරමක් පැසෙන තුරු ප්‍රබෝධවත්ව, ඍජුව සහ ශක්තිමත්ව තිබී එල්ලී වැටෙන්නේ ගසේ විනාශයට පළමු පමණි. ගෙඩි පැසුණු නොබෝ කලකින් ගස මැරෙයි. මේ මලේ දුර්ගන්ධය පවා අතිශයෝක්තියෙන් දක්වා තිබේ.
හෙන්රි චාල්ස් 1850 දී රචිත සිලෝන් ඇන්ඩ් ද සිංගලීස්” (ප්‍රේමචන්ද්‍ර අල්විස්ලංකාව සහ සිංහලයෝනමින් සිංහලට පරිවර්තනය කොට ඇත.) කෘතියේ තලමල පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත.
සුවිසල් තල ගස සංචාරකයන්ගේ අවධානය ඇද ගැනීමෙහිලා අන් සියලු තුරුලතාවලට වඩා සමත්ය. ශාක රාජධානියේ අන් සියල්ලන් අභිබවා උත්තුංගව නැඟී සිටින මේ තාල වෘක්‍ෂයේ ස්වභාවික අලංකාරය ඇති සැටියෙන් දක්වනු පිණිස ප්‍රමාණවත් වදන් සපයා ගැනීම දුෂ්කර කාර්යයකි. ඇතැම් ලේඛකයන් මෙහි උද්භිද විද්‍යාත්මක නාමය කොරිෆා අම්බුක්‍යුලිෆරා යනුවෙන් දක්වන අතර ඇතැම් කතුවරයෙකු එය ලිකුවාලා ස්පිනෝසා යයි සඳහන් කර ඇත.
අඩි හැත්තෑවේ සිට සියය දක්වා එකිනෙකින් වෙනස් වන විවිධ උස ප්‍රමාණයෙන් යුත් තල ගස් දක්නට ලැබේ. තල අත්තක් එය වැඩී තිබෙන රුක් කඳේ සිට අත්තේ අග දක්වා දිගින් අඩි විසි හතරක් පමණ වන අතර තාල පත්‍රයේ පළල අඩි දොළසේ සිට සතළොස දක්වා විවිධ වෙයි.
ස්වදේශිකයෝ එය ගිමන් නිවීමට පවන් සලන අවන් පත් වශයෙන් මෙන්ම අව්වෙන් වැස්සෙන් වැළකෙන කුඩ වශයෙන් ද ප්‍රයෝජනයට ගනිති. සිංහල රජවරුන් යටතේ තල අතු ඉසලෑමේ වරම් ලද්දෝ කුලීනයෝම පමණකි. ගසේ මුදුනෙන් හාත්පස විහිදෙන පුළුල් ශාක මණ්ඩලය තුළ කඳෙහි හට ගන්නා මල් බෙහෙවින් මළානික කහ පැහැයක් ගන්නේය. තුන් මසක පමණ කාල පරාසයක එළිදකින මේ මල අන්තිමේදී පල හට ගන්නමින් කෙමෙන් අතුරුදන් වෙයි.
තල ගස පිළිබඳ විදෙස් ලේඛකයකු ලියූ තවත් සටහනක් මෙපරිදිය.
ගසේ මුල වටප්‍රමාණය අඩි නවයක් පමණ වේ. තල ගසක් අවුරුදු සියයට වැඩි කාලයක් නොපවතින්නේ යයි මෙහි වැසියෝ තරයේ විශ්වාස කරති. තල ගස පීදී මලක් හට ගත් තැන් පටන් ගස මැරී යන්නට පටන් ගනී. තල මල ඉතා විශාලය. අතිශය දීප්තිමත් කහ පැහැයෙන් යුක්තය. කොපුවක් තුළ හට ගනී. නිසි පමණට මුහුකුරා ගිය පසු හඬක් නඟා කොපුව පුපුරුවාගෙන මල පිපෙයි. තුන් මසක පමණ කාලයක් එය පර නොවී පවතී.
තල පත අවානක් මෙන් හැකිළිය හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබේ. වියැළුණු තල අත්ත අව්වෙන් වැස්සෙන් වැළකීම සඳහා ඉසලාගෙන ගමන් බිමන් යෑම මෙහි ඇතැමුන්ගේ පුරුද්දකි. තල අතු ගෙවල පියසි සෙවිලි කිරීමට යොදා ගැනෙන අතර තල ගොබයෙන් පුස්කොළ නම් තීරු සකස් කර ගනු ලැබේ. ධර්මය හෝ වෙනත් දේ ලිවීම සඳහා යොදා ගැනෙන එම තීරු එක්කොට පුස්කොළ පොත් නිර්මාණය කිරීම මෙහි බෞද්ධ භික්‍ෂුන් වහන්සේ අතින් බොහෝ විට සිදුවන්නකි.
තල ගසේ තවත් ප්‍රයෝජන බොහොමයක් ඇත. තලගොබ වල ඇති කූරු ඉවත් කර තම්බා ගැනීමෙන් මාගල් විවීම සදහා යොදා ගනී. මාගල් යනු තල කොල වලින් වියන ලද ශක්තිමත් පැදුරකි. ගැමි කාන්තාවන් තම්බන ලද වී වේලීම සදහා බොහෝවිට මේ මාගල් භාවිතා කරයි. ඒ වායේ තවත් බොහෝ ප්‍රයෝජන ඇත. 
එමෙන්ම තල ගසේ කදෙහි ඇති පිටි ඉතාමක් හොද ආහාරයකි. තල් ගසේ කදෙහි ඇති සුදුපාට අරටුව වැනි කොටස කුඩා කෑලි වලට කපා වංගෙඩියක දමා ඉතා සියුම් කුඩා කැබලි වන තුරු කොටා ගනී. පසුව මෙම කැබලි රෙදි කැබැල්ලක බැද පොට්ටනියක් සේ සදා ජල බදුනක දමා කැලතීමෙන් ජල බදුන පතුලට තල පිටි එක් කර ගත හැකිය. මෙලෙස එක් කර ගන්නා පිටි වේලා ගත් පසු තිරිගු පිටි මෙනි. වි‍‍‍‍ශේෂයෙන්ම මේ පිටි වලින් පළියෙල කරනු ලබන්නෙ තලප ය. පොල් කිරි සමග මේ පිටි එක්කර හැදි ගෑමෙන් දොදොල් හා සමාන තලප සාදා ගනී. ඒවා පොල් කිරි සහ සීනි සමග මුසු කර ගත විට ඇගට සීත ආහාරයකි. ඒ වගේම කුසගිනි නිවන ආහාරයකි. තවද රොටීද පිළියෙල කල හැකිය. දුප්පත් ගැමියන් බත් වෙනුවට මේ තල පිටි ප්‍රයෝජනයට ගනී. 
තල ගසෙන් ලබන යල ප්‍රයෝජන පිළිබඳ එක්තරා ගැමියෙකු ජන කවියක් ගොතා ඇත්තේ මෙලෙසි.
 
තල අතු කප්පරා හිරි අතු වේලා වෙහෙර මුවාවෙන් තිබ්බා නම්
බණපොත් ලියවා බරපැන් ඇරලා බුදුන්ට පූජා කෙරුවා නම්
කොළඹට ඇරලා සුදු පිළි ගෙන්වා තුන්මාලේ මඟ එළුවා නම්
මිනුවන් ගමුවේ සුරුවන් තලමල වෙහෙරට කිට්ටුව පිපුණා නම්