Sri Lanka

Friday, January 30, 2015

හිතුමතේට දීග ගිය දුවේ...




මේ කියන්න යන කාරණය අපි නිතර අහන දකින දෙයක්. නමුත් මේ දේවල් නැවත නැවත සිදුවීමේන් මේවට සම්බන්ධ අය අපේ බාල පරම්පරාවට දෙන්නෙ ඉතාමත් නරක ආදර්ශයක් නිසා ඒ ගැන හැකි පමණින් අපි කතා කරණ එක වඩා වැදගත් කියල හිතනව.

වැඩිය අටුවා ටීකා නැතු අපි සිද්ධියට බහිමුකො. මම අද ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපේ තරුණසේවා නිලධාරී තුමිය මුනගැහෙන්නත් එක්කම තවත් වැඩ කීපයකට.(හැබැයි කියන්න කනගාටුයි තරුණසේවා නිලධාරිණිය නම් ඊයෙ දවසෙත් අද දවසෙත් මුනගැහෙන්නනම් බැරි වුනා වැඩට ඇවිත් නැති නිසා. මගේ අදහස නම් ඉතින් ගැහැණු පර්ශවයට ඒ තනතුර නොදී ඉන්නවනම් වඩා හොදයි වගේ මොකඩ වැඩි හරියක් එන්නෙ නැහැ.) ඉතින් මගේ කටයුතු කරගන්න අතරෙ මම දැක්ක අපේ යෞවන සමාජෙම මල්ලි කෙනෙක් එක්ක ගැහැණු ළමයෙකුයි පිරිමිළමයෙකුයි ඇවිල්ල ඉන්නව. ළගට ගිහින් කතා කලාම මේ දෙන්න විවාහ කරල දෙන්න ඇවිත් තියෙන්නෙ.

විස්තර අහල බලනකොට මේ පිරිමි ළමයට වයස 20යි ගැහැණු ළමයට 19යි. ගැහැණු ළමයගෙ ගෙදරින් කැමති නැතුව තියෙද්දි ඒ පිරිමි ළමයත් එක්ක පැනල ඇවිත් තමයි දෙන්න මේ විවාහ වෙන්න හදන්නෙ. ඒ ගැහැණු ළමය දැක්කම මටනම් හිතුනෙ කවදාවත් ජීවිතෙ තැලිල පොඩිවෙලා නැහැ. යන්තම් උසස්පෙළ ලියුව විතරයි. සමාජය කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නැහැ. යන්තම් දෙමව්පියන්ගෙන් මිදුන විතරයි පන්ති යන එන ගමන් සැලූන් එකක වැඩ කර කර හිටිය මේ කොල්ලත් එක්ක යාලු වෙලා. ඒ ටික කාලෙකින්ම මේ ජීවිතය ගැන වැදගත් තීරණයක් හිතුමතේට අරගෙන. මේ ගැහැණු ළමයට ඉන්නෙ තවත් නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි විතරයි. ඒ දෙන්නටත් වැරදි ආදර්ශයක් තමයි දීල තියෙන්නෙ. මේ ගැහැණු ළමයගෙ පවුලට යමක් කමක් තියනව විස්තර අහල බැලුවම. තාත්ත කඩයක් එහෙම කරනව. ඇත්තමට ඒ දෙමව්පියො කිසිම දුකක් දෙන්නෙ නැතුව හදල තියෙන්නෙ මේ විදියට තමන්ව අවමානයට පත් කරල යන දුවෙක් දකින්නනම් නෙමෙයි. ඇත්තටම අපිනම් දකින්නේ ජීවිතේ මොකක්ද කියල තේරුම් ගන්නකොට ගොඩක් පසුතැවෙන්න වෙනව තමන් ගත්ත මේ මෝඩ තීරණය ගැන.

අවසානෙදි රෙජිස්ටාර් තුමිය මේ දෙන්නව පිටත් කලාට පස්සෙ කිවුව කාරණය තමයි මේ හදිස්සියෙ මෙහෙම විවාහ වෙන ගොඩක් අය තව අවුරුදු දෙක තුනක් විතර යනකොට අයෙම තමන් හොයාගෙන එනව කියල දික්කසාද වෙන්නෙ කොහොමද කියල තොරතුරු දැනගන්න. මොකද එතුමිය එහෙම කියන්නෙ අවුරුදු ගානක තමන්ගෙ ජවිතේ අවුරුදු ගානක අත්දැතීම් එක්ක. උදාහරණ කිහිපයකුත් පෙන්වලා දුන්න අපිට. අත්තටම සමාජය ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව සමාජයට ආවම කවුරු හරි ලස්සන කතා ටිකක් කිවුවම ඒවට රැවටෙනව. ඒක මොඩ කම නෙමෙයි නව යොවුන් වියත් එක්ක හදවත කැමතියි ඒව දකින්න විදින්න. ඒත් නිවැරදිම දෙය තෝරගන්න හරි හමන් මාර්ගෝපදේශනයක් ලැබෙනවනම් ඒ දේවල් තෝර බේරගන්න පුලුවන් වෙයි කියලයි අපේ අදහස.

ඉතින් මම අද තෝරගත්තෙත් මේ විදියට හිතුමතේට දීග ගියපු දරුවන් වෙනුවෙන් විශාරද නන්දා මාලනිය ගායනා කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියුව බොහොම අපූරු ගීතයක්.

හිතුමතේට දීග ගිය දුවේ...
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ...

මේ පද ටික ගත්තම මගේ කතාවත් මේ ගීතයෙ කියන කතාවත් අතරෙ කිසිම වෙනසක් නැහැ කියලයි මමනම් හිතන්නෙ. මොකද පිරිමි ළමයින්ට වගේ නෙමෙයි ගැහැණු ළමයින්ට ජීවිතේ එක වරයි වරදින්න පුලුවන්. ඒක ඇති මුලු ජීවිතේම විනාශ වෙන්න. ඒ වගේ තමයි මේ ගීතයෙන් කියන්නෙ ගැහැණු ළමයෙක් හිතුමතේට දීග ගිය දුවෙක් ගැන වැළපෙන දෙමව්පියන්ගෙ අදෝනාව. ඒ අම්ම කියන්නෙ උඹ අද අපේ හිත් රිදවලා දීග ගියා තමයි. ඒ හන්ද අපි අද පුදුමාකාර විදියට දුක් වෙනව. ඒ වගේමයි කවද හරි දවසක උඹේ දුවත් ඒ විදියටම හිතුමතේට දීග ගිය දවසක උඹටත් අපි අද මේ විදින වේදනාවෙ තරම කොයි තරම්ද කියල දැනේවි කියල. දෙමවිපියෝ කවදාවත් දරුවෙකුට නරකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ නැහැ හීනෙකින්වත්. යන තැනක හොදින් ඉදපල්ල කියන පැතුම විතරයි දෙමව්පියන්ට තියෙන්නෙ. ඒත් දෙමව්පියන්ගෙ හිත් රිදවලා ගිහින් දෙමවිපියන්ට දුන්න වේදනාවට දඩුවම ස්වභාවදර්මයෙන් ලැබෙනව යම් දිනයක අනිවාර්යයෙන්ම. ඒක දෙමවිපියන්ටවත් වළක්වන් බැහැ. ඒකයි මේ ගීතයෙන් කියන්නෙ.

ඇස්දෙක වන් පුංචි දුවේ
නුඹ නැතිගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිළුනු පහන නිවේ
පපුවේ ගිනි පුළිඟු දැවේ...

දුවෙක් කියන්නෙ ගෙදරට වාසනව ගෙනෙන් සංකේතයක්. ගොඩක් පියවරු අම්මලාටත් වැඩිය දුවලට ආදරෙයි. දුවෙක් තමන්ගෙ ගෙදර දාල මේ විදියට ගියාම ඒක දෙමව්පියන්ට දැනෙන්නෙ තමන්ගෙ ගෙදරට ආලෝකය දුන්න පහණ නිවිලා ගියා වගෙයි. ඒකෙන් පපුවට දැනෙන ගින්දර කියල නිම කරන්න බැහැ.

යෞවනයේ හීන නොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ...
නිදුකින් හිමි සඳු සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්..

යෞවන කාලෙ ගොඩක හීන තියනව. ඒත් සත්‍යය ඒ හීන තුළ නැහැ. තරුණ ආවේගයත් එක්ක හැගීම් වලට වහල් වෙලා මෝඩ තීරණ ගත්තට ජීවිතය කියන්නෙ හරිම කටුක දෙයක්. ඒ කටුකත්වයෙන් මිදෙන්න ජීවිතයට මුහුණදෙන්න සුදුසු තත්වයට තමන් පත්වෙන්න ඕන. එහෙම නුසුදුසු කාලකෙ මෙහෙම දේවල් කරගත්තම තමන්ට ජීවිතේ වරදින එක කාටවත් නවත්තන්න බැහැ. ඒත් ගීතයේ අවසානෙට කියන්නෙ මම මුලින් කිවු දේම තමයි. උඹ දැන් මේ විවාහය කරගෙන ඉවරයි. ඒ හන්ද යන තැනක තමන්ගෙ ස්වාමියා එක්ක හොදින් ඉදපන් කියන එක. මොකද දෙමවිපියන්ගෙ එකම පැතුම තමන්ගෙ දරුවන් යන ගැනක හොදින් ඉන්න එක.



හිතුමතේට දීග ගිය දුවේ...
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ...

ඇස්දෙක වන් පුංචි දුවේ
නුඹ නැතිගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිළුනු පහන නිවේ
පපුවේ ගිනි පුළිඟු දැවේ...

යෞවනයේ හීන නොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ...
නිදුකින් හිමි සඳු සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්..
  
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ඔස්ටින් මුණසිංහ.

ගීතය මෙතනින් බලන්න...

 

Monday, January 26, 2015

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද





පහුගිය කාලෙ තිබුණ දේශපාලන වාතාවරණයත් එක්ක අපේ හිතවතුන් තමන් පිළිගන්න දේශපාලන මතය ජයග්‍රහණය කරවන්න ගොඩක් ඇප කැප වෙලා හිටිය හන්ද අපි අලුත් යමක් ලියන එක ටික ටික පස්සට දාන්න තීරණය කලා. මොකද ගොඩක් අය බුකිය ඒ දවස් වල පාවිච්චි කලේ දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන්. අපිටනම් දේශපාලනයට වඩා අපේ හිතවතුන් ගොඩක් වටින හන්ද කිසිම කෙනෙකුට පක්ෂව හෝ විපක්ෂව පොස්ටු ශෙයාර් කලේ නැහැ.

අද අපි ඔයාලව අරගෙන යන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට. ශ්‍රීපාලිය කිවුවම නොදන්න කෙනෙක් නැහැනෙ ඉතින්. හොරණ ශ්‍රී පාලිය ජනමාද්‍ය මෙන්ම ප්‍රාසාන්ග කලාව යන විෂයන් දෙකම නවීන ලෝකයට ගැලපෙන විදිහට උගන්වන ලංකාවෙ තියන එකම තැන කිවුවොත් වැරැද්දක් නැහැ කියල හිතනව. ප්‍රාසාන්ග කලාව ඇතුලේ චිත්‍ර, නැටුම්, සංගීත කියන සෞන්දර්ය විෂයන් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම බොහොම අපූරුවට උගන්වන තැනක් තමයි ශ්‍රීපාලිය.

හැබැයි අපේ මේ කතාවෙ කතා නායකය එවකට ඉගෙන ගත්තෙ කොළඹ විශ්ව විද්‍යලයේ කළමණාකරණ පීටයේ. ඒ මීට වසර හතරකට කලින්. අපි ඔහුට සිසිර කියල කියමුකො. සිසිර ඉගෙන ගන්න බොහොම දක්ෂ ශිෂ්‍යයෙක්. ඒත් කනගාටුවට කරුණ නම් ඔහු ශ්‍රවණාබාධිතයෙක්. ඔහුගෙ කන් දෙකම ඇහෙන්නෙ නැහැ.

ඉතින් කලයක් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට මොහුටත් අනිත් අයට වගෙම එක්තරා යුවතියක් ගැන ආදරයක් ඇති වෙනව. මොකද ඔහුගෙ කන් ඇහුනෙ නැති උනාට ඔහුත් මනුෂ්‍යෙයක්. අනිත් හැමෝගෙම සිත් වල ඇතිවන හැගීම් ඔහු තුළත් ඇති වෙනව. අතින් අපි ඔහුගෙ හිත ගත්ත තරුණියට නදීකා කියල කියමුකො. සිසිර ඇත්තටම ඇයට ගොඩක් ආදරය කලා. එත් ඔහුට ඒක කියාගන්න විදියක් තිබුණෙ නැහැ. ඒත් ඔහු තමන්ගෙ උත්සාහය අතාරින්න කැමති වුනේ නැහැ. 

සිසිර තමන්ගෙ හිතේ නදීකා ගැන ඇතිවුන හැගීම් සියල්ල ලියනව ගීතයක් විදියට. ඔහු මේ ගීතය ලියල භාර දෙනව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සංගීත අංශයේ කතිකාචාර්ය වරියක් විදියට සේවය කරන නෙලූ අධිකාරි මහත්මියට. ඇය බොහොම ලස්සන තනුවක් යොදල විශ්ව විද්‍යාලයේ එක්තරා ප්‍රසංගයකදි ඇයගෙ මධුර හඩින් මේ ගීය ගයනව. ඒත් දුකට කරුණ නම් ඔහුට ඒ සුන්දර කටහඩින් ගයන ඒ ගීතය අහන්න විදියක් නහැ. ඒ වගේම තමයි නදීකා මේ ගීතය අහනව. ඒත් ඇයට ඔහුගෙ හදවතේ තිබුණදේ දැනුනද කියන එක තමයි ප්‍රශ්නය.

ගීතයේ පද ටික හොදින් කියවලා බලන්න. අමුතු යටි පෙළ අරුතක් ගැබ් වෙලා නැහැ. ඇත්තටම මුලු ගීතයේම තියෙන්නෙ ඔහුගෙ හදවතේ ඇදුන හැගීම විතරයි. කොයි තරම් නම් ආදරයක් සෙනෙහසක් ඔහු තුළ තිබුණද කියල අපිට හිතාගන්න පුලුවන්. මේ තරම් දරාගන්න බැරි සෙනෙහසක් ඔහු තුළ තිබුණනම් ඇත්තටම ඔහු කොයි තරම් අපූරු පුද්ගලයෙක්ද?

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද
ඔබ මගේ දිවි මාවතේ...
වෙන කාටවත් දෙන්නේ කොහොමද
ඔබ මගෙම මුළු ජීවිතේ..

රැයක් ලස්සන වෙන්නේ කොහොමද
රුව නොදුටු දා සදවතේ....
ඔබ නොදකෙ ඉන්නෙ කොහොමද
ඔබයි සද මගෙ හදවතේ....

ලොවක් ලස්සන වෙන්නේ කොහොමද
හිරු නොනැගි දා ගගනතේ....
ඔබ නැතිව ඉන්නේ කොහොමද
ඔබයි හිරු මගෙ ජිවිතේ...


ගීතය මෙතනින් අහන්න...

 

Thursday, January 1, 2015

සුභ නව වසරක්


බුවනෙකබා පාඨක ඔබ සැමට සුභ නව වසරක් වේවා.....