Sri Lanka

Monday, October 19, 2015

ස්කන්ධ කුමාර හෙවත් කතරගම, වන්නි දෙවි හෙවත් අයියනායක දෙවි, පුල්ලෙයාර මුත්තා හෙවත් ගණදෙවි උපත....




මේ දෙවිවරු පිළිබදව ගැමි සමාජයේ කතාබහට ලක් වුන ජනප්‍රවාද අතුරින් සකස් කල සටහනකි. අප ප්‍රදේශයට ඇධිපති අයියනායක දෙවියන් පිළිබදව අප කල විමර්ෂණයකදී මේ පිළිබදව තොරතුරු සොයා ගැනීමට අපිට හැකියාව ලැබුණි. මෙහිදී පූජ්‍ය ඔරුක්මාන්කුලමේ චන්දන හිමි ගේ විමර්ෂන වාර්තා අපිට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ගැමි සමජයේ ඇති ඇදහිලි සහ විශ්වාද පිළිබදව යමක් ඔබට ගෙන ඒම මෙහි අරමුණ විය.

දේවතා තුන් කට්ටුවේ උපත 

ස්කන්ධ කුමාරගේ පියා වන ඊශ්වර දිනක් උමයංගනාවන්ගෙන් හාස්කම් දැනගනු රිසියෙන් ඇයට කළ හැකි දේ මොනවාදැයි විමසුවේලු. උමයංගනා එවිට ඇය සිටි තැනින් තණකොල මිටක් ගෙන එහි වූ කොළ අටකින් කුමාරවරු අට දෙනෙකු මවා පෙන්වූ බවත් එයින් සතුටට පත් ඊශ්වර කුමාරවරුන් අට දෙනා දෝතින් බදාගත් අතර එක් කුමාරයෙක් වම් කිහිල්ලෙන් පැන ගත්තේලු. තව කුමාරයෙක් දකුණු කිහිල්ලෙන් පැනගත් අතර, වම් කිහිල්ලෙන් පැන ගත් කුමරා වන්නියේ දෙවියන් හෙවත් "අය්යනායක"  වශයෙන් කැලෑ වැදුන බවත්, දකුණු කිහිල්ලෙන් පැනගත් කුමරු මුරුතැන් කඩවර වූ බවත් ඔහු අද පුල්ලෙයාරේ නොහොත් ගණ දෙවියන් වශයෙන් අදහන බවත් විශ්වාස කෙරේ. ඉතිරි වූ හය දෙනා එක්අයෙකු කොට ඊශ්වරයන් විසින් මවන ලද බැවින් ඔවුන් සය දෙනාම එක් කුමරෙක් වීලු. මුහුණු සයක් සහ අත් දොළසක් ඇතිව උපන් ඔහු ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු වශයෙන් පුද ලබන බවත් විශ්වාස කෙරෙයි. ඔහු නිත්‍ය වාසස්ථානය ලෙස කාඡරගාම හෙවත් කතරගම තෝරා ගත් බවද සදහන්වෙයි.

ස්කන්ධ කුමාර හෙවත්කතරගම දෙවි



ඒ අනූව උමයංගනා දේවිය හා ඊශ්වර දෙවියාට දාව උපන් දරුවන් අතුරින් පළමුවැන්නා වශයෙන් ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු ලාංකීය දේව මණ්ඩලයට ඇතුළත්වී ඇත. ඉන්දීය සම්භවයක් ඇති කන්දකුමාර පරම්පරාව හා කදකුමරුගේ ලංකාගමනය පිළිබද සමහර ජනප්‍රවාද වල ඒකරූපීතවක් දක්නට ලැබෙතත් බොහෝවිට එකී ජනප්‍රවාද අතර විවිධත්වයක් දක්නට ලැබෙන බව කිව හැකිය ස්කන්ධකුමාර ජනප්‍රිය වන ප්‍රදේශවල එකී ප්‍රාදේශීය දෙවියෙකු වශයෙන් ඔහුට ප්‍රාදේශීය නාමයක් ආරූඪ කිරීමට උත්සාහ ගන්නා බවක් ලක්දිව පුරා පැතීරී ඇති කන්ද කුමාර දේවාල නාම පිළිබද  සදහන් කිරීමේදී පැහැදිලි වෙයි.

ස්කන්ධ කුමාර, කතරගම ප්‍රදේශයේ දී කතරගම දෙවියන් වශයෙන් බැතිමතුන්ගේ බුහුමණට පාත්‍රවන අතර ඌව පළාතේ දී බදුලු දෙවියන් වශයෙන්ද හදුන්වන්නේ මොහුමය. 

නුවර කලාවියේ හුරුලු වැවේ පිහිටි දේවාලයේ වැඩ සිටින ස්කන්ධ කුමාර හදුන්වන් ලබන්නේ හුරුලු දේවතාවා යනුවෙනි. උතුරුමැද පළාතේ සෑම බෞද්ධ පූජනීය ස්ථානයකම ස්කන්ධ කුමාර දෙවියන්ට විශේෂ ස්ථානයක් ලබාදී ඇත. සමහර බෞද්ධ සිද්ධස්ථාන වල දී මොහු හදුන්වන්නේ කතරගම දෙවියන් වශයෙනි.

ස්කන්ධ කුමාරට මුහුණු සයක් සහ අත් දොළසක් ලැබීම පිළිබද තවත් ජනප්‍රවාදයක් මෙසේයි.

"දිනක් ඊශ්වරයා ගමනක් යද්දී උමයංගනා නුග ගසක බැදි ඔන්චිල්ලාවක් පදිමින් සිටියාය. උමයංගනා හරිම ලස්සනයි. මේ උමයංගනාව  දුටු ගමන්ම ඇය විවාහ කර ගැනීමට ඊශ්වර කල්පනා කොට ඇගෙන් ඒ ගැන විමසුවේය. එවිට ඇය ඊශ්වරයාට මේ ලෝකය වටා රවුමක් ගොසින් සැණෙකින් තමා වෙත පැමිණිය හොත් පමණක් ඊශ්වරගේ ඉල්ලීමට කැමති වන බව උමයංගනා පැවසුවාය. ඊශ්වර ද බොහෝ බලසම්පන්න පුද්ගලයෙකු නිසා වහා ලෝකය වටා ගමන් කොට උමයංගනා සිටි තැනට පැමිණියේ ය. ඒ වන විට උමයංගනා සිටියේ දරුවෙකු වඩා ගෙනය. එවිට ඇය ඊශ්වරට "දරුවක් සමග මම විවාහ කරගන්න කැමතිනම් මාත් කැමතියි" යනුවෙන් පවසා ඇත. එයට ඊශ්වර කැමති විය. එයට කැමැත්ත පල කල පසු නැවත ලෝකය වටා ගොස් තමා කරා පැමිණෙන්නැයි ඇය ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීමට අවනත නොවුණොත් විවාහ වීමට නොලැබේ යැයි ද මෙවර යා යුත්තේ තම අතේ සිටින දරුවාත් රැගෙන ය යන්න ද ඇය විසින් ඊශ්වරට දන්වන ලද්දේය. ඊශ්වර දරුවා ද කර පින්නාගෙන ලෝවටා ගොස් නැවත පැමිණෙන විට, උමයංගනා තවත් දරුවෙකු උකුළේ තබා ඔන්චිලි පදිමින් සිටියාය. එහි පැමිණි ඊශ්වර අතට එම දරුවාත් දී නැවත ලෝ වටා සැණෙකින් ගමන් කොට ආපසු පැමිණෙන ලෙස පවසන ලදී. මේ ආකාරයට දරුවෝ හය දෙනෙක් ඊශ්වරගේ අතට දෙන ලදී. ඉන් පසු උමයංගනා පොරොන්දු වූ පරිදි ඊශ්වර හා සමග විවාහ වෙන ලදී. ඊශ්වර එම දරුවෝ හය දෙනාම එක මිටට ගෙන එක් කෙනෙක් බවට පත් කළේලු. අල්ලා ගන්නා ලද්දේ කද මැදින් නිසා සය දරුවන්ම එක කදකින් හා මුහුණු දොලසකින් ද යුක්ත වූ බව ජනප්‍රවාදයෙහි එයි.

වන්නි දෙවි හෙවත් අයියනායකදෙවි



අයියනායක දකුණු ඉන්දීය ප්‍රභවයක්ඇති අයියනාර්, අර්යනාගම් යන නම්වලින් හදුන්වන ජන නායකයෙකු වශයෙන් ද වාරි ඉංජිනේරුවෙකු ලෙස ද ජනප්‍රවාදයන්හි සදහන් ය. ඉහත ජනප්‍රවාදයට අනූව ඊශ්වරගේ වම් කිහිල්ලෙන් පැනගත් දෙවියා කැලෑ දෙවියන් හෙවත් වන්නි(මහව, ගිරිබාව, ගල්ගමුව යන ප්‍රදේශ වලින් වට වන ප්‍රදේශය)  දෙවියන් වශයෙන් මිනිසුන් අතර දේවත්වයට පත්වී කාලානුරූපව අයියනායක නාමයට පත් වී තිබේ.

දැදුරු ඔය අසබඩ සිට සිය බලය පවත්වාලන ප්‍රාදේශීය නායකත්වයක් දරණ අයියනායක මෙරට පණ්ඩුකාභය සමයේ දී වාරි කර්මාන්ත ඉදිකිරීම පිණිස රැගෙන ආ වාරි ඉංජිනේරුවෙකු වූ බව ද තවත් ප්‍රවාදයකි. එනිසාම වැව්වලට අධිපති දෙවියා වශයෙන් රජරට නුවරකලාවියේ(නුවර වැව, කලා වැව, පදවිය වැවෙන් පෝෂණය වන ප්‍රදේශය) මොහු ප්‍රචලිතය. 

වන වදින මිනිසුන් කොළ අතු රිකිල්ලක් කඩා අයියනායක දෙවියන් සිහිකර කැලයට ප්‍රවේශවීම මගින් වනයේ අතරමං වීමක් කිසි දිනක සිදු නොවන බව විශ්වාස කරයි. අයියනායක දෙවියන් පිදීම බහුලව සිදුකරනු ලබන්නේ කලාගම් පළාත්බද වය.


පුල්ලෙයාර් හෙවත් ගණදෙවි



ගණේෂ, ගණපති, ඥානේෂ්වර, පුල්ලෙයාර් යන නාම රාශීයකින් මොහු හදුන්වනු ලැබේ. උතුරුමැද පළාතේ විශේෂයෙන් නුවරකලාවියේ මොහු ප්‍රසිද්ධ ගණදෙවියන් වශයෙන් නොව පුල්ලෙයාරේ දෙවියන් වශයෙනි. ඉහත ජනප්‍රවාදයට අනූව ඊශ්වරගේ දකුණු කිහිල්ලෙන් පැනගත් දෙවියන් වශයෙන් මිනිසුන් අතර දේවත්වයට පත් වී තිබේ.

ගණ දෙවියන් හෙවත් පුල්ලෙයාරේට ඇත් මුහුණක් ලැබීම පිළිබදව ජනප්‍රිය ජනප්‍රවාද දෙකක් තිබේ. පවුලේ බාල සහෝදරයා වන පුල්ලෙයාර් දිනක් කිසියම් ගමනක් යනවිට මුහුණ සළුවකින් වසාගත් සුරූපී කාන්තාවක් ගමන් කරුනු දැක ඇය විවාහ කර ගැනීමේ අදහසක් පහළ වී ඇත. එම කාන්තාව එනතුරු සැගවී බලා සිටි ඔහු ඒ තමන්ගේ මෑණියන් බව දැනගෙන ලැජ්ජාවට පත් වී ඇත. මේ බව ඊශ්වර තමාගේ ප්‍රාතිහාර්ය ඥානයෙන් දැනගෙන ගණපතිගේ හිස කදින් වෙන් කොට ඇත. වරදක් කළත් ඒ තමාගේ දරුවා නොවේදැයි සිතා ඇතෙකුගේ හිසක් කපා ගෙනැවිත් ගණපතිගේ කදට සවිකොට මං මාවතක් අසල ගසක් මුල තබා ඇත. එදා සිට ඔහු මංමාවත් අද්දර මංසන්ධිවල අම්මා වගේ රූමත් කතක් එනතුරු බලා සිටින්නේ යැයි විශ්වාස කෙරේ. ඒ බවට දෙස් දෙන කෝල්මුර කවියක් මෙසේය.

මංමාවත් රැකගෙන                     ඉන්නේ
මං මේ ලෙස දැන් වැද            පවසන්නේ
අම්මාගෙන් උඹ විවරණ              ගන්නේ
අම්මා වාගේ කෙනෙක්          සොයන්නේ

මීට අමතරව පුල්දෙයාරේ දෙවියන්ට ඇත් හිසක් ලැබීම පිළිබදව තවත් අපූරු ප්‍රවාදයක් තිබේ.

පුල්ලෙයාරේ දෙවියන්ගේ දෙවැන්නා ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු වන්නේය. තුන්වැන්නා ගණේෂ හෙවත් පුල්ලෙයාරේය. කද කුමාරා සිය වාසභූමිය කරගන්නා ලද්දේ ගිරුවාපත්තුවේ කාඡරගාම නමින් හදුන්වන ප්‍රදේශයයි. අද මෙය කතරගම යනුවෙන් ප්‍රසිද්ධය. දිනක් අයියා බැහැදැක ගැනීමට බාල සහොදරයා වන ගණේශ කතරගම ගියේලු. මේ යන අතරමග සමීපයේ දී නිතර එහි යන එන වැද්දන් අතර වැදි දියණියකව හැදුණු රූමත් කාන්තාවක් වල්ලි නමින් සිටියේලු. ඇය ගණපති යනවිට දර කඩමින් සිටි බවත්, ඇයට ආදරය කිරීම පිළිබද සිතක් පහළ වූ බවත්, ඒ බව වල්ලිට සැල කර සිටි විට ඇය විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ බවත් සදහන්වේ. මේ බව කතරගම වැඩිහිටිකන්දේ වාසභවන තනාගෙන විසූ වැඩිමල් සොහොයුරු වූ ස්කන්ධ කුමාරට ගණපති විසින් දන්වා කෙසේ හො ඇය ලබා දෙන ලෙස කදකුමරුන්ගෙන් ඉල්ලා ඇත.

වල්ලි යනු වැදි නායකයෙකුගේ රූමත් දියණියක නිසා ඇය ලබා ගැනීම උගහට වන බවත් ඒ සදහා ඥානවන්ත වු ගණපතිට උපායක් ප්‍රකාශ කොට එමගින් ඇය බිය වද්දා ඇය ඔබට කැමති කරවා දීමටත් සකන්ධ පොරොන්දු වී ඇත. එම පොරොන්දුව අනූව ගණපතිට ඇතෙකුගේ වේශයක් මවා වල්ලි පැමිණෙන කැලයට පිටත් කර ඇත. ඇත් වේශය නිමවීමට පෙර කන්දකුමාර විසින් වතුර සේබුවක් ගෙන එය මන්ත්‍රබලයෙන් දිෂ්ටි කොට වල්ලි බිය වද්දා මීට පෙර තමාගෙන් කැමැත්ත විමසූ තැනැත්තාට කැමති කරවා ගැනීමෙන් පසුව සෙම්බුවේ පැන් ඉස ගණපතිට සැබෑ මිනිස් ශරීරය ලබා දීමට සලස්වන බව මතක් කර තිබේ. එහෙත් සිදුවූයේ ඊට වෙනස් දෙයකි. ගණපති ඇත් වේශයෙන් ඇවිත් වල්ලි බිය වැද්දූ අතරතුර කදකුමරු ඇය ඇතාගෙන් බේරා ගෙන ඇතත් ගණපතිට මෙන්ම කදකුමරුට ද වල්ලිගේ හැඩුරුව දැක ඇය පිළිබද සිතක් පහළ වීලු. වල්ලි හා කදකුමරු පෙමින් වෙළී සිටිය දී තමා ඇත් වේශය මවා ගත් ගණපතිට වූ පොරොන්දුව  බොහෝ වෙලාවක් යනතුරු අමතක වී ඇත. ඒ අතර ඇත් වේශයෙන් ගණපති ඔවුන් සිටි වැඩිහිටිකන්ද පාමුලට පැමිණෙනු දැක හදිසියේ ස්කන්ධකුමාරයාට තමා වූ පොරොන්දුව සිහියට නැගී එකෙණෙහිම අත තිබූ වතුර සෙම්බුව කන්ද පාමුලට වීසි කර ඇත. සෙම්බුවේ වතුර කොටසක් ඇතාගේ කද හා ඉන් පහළට හැලී ඇති අතර හිස ප්‍රදේශයට වතුර නොඉසුණ නිසා හිස ඇතාගේ ස්වරූයපෙන් හා කද මිනිසාගේ ස්වරූපයෙන් තවමත් තිබෙන බව එකී දෙවන ප්‍රවාදයයි..

ඉහත කී ප්‍රථම ප්‍රවාදයට තවත් සමාන ප්‍රවාදයක් පවතී. 

ඉතා ලස්සන පංච කල්‍යාණයෙන් යුත් කාන්තාවක් වන ගණපතිගේ මව වන උමයංගනා දිය නෑමට ගොස් සිටියදී මවගේ හැඩරුව දෙස ගණපති බලනු ඒ වෙත පැමිණි උමයංගනාවගේ ස්වාමියා වූඊශ්වර දැක ඇත. එවිට ඒ කෙරෙහි දැඩි ඉරිසියාවෙන් හා කෝපයෙන් සිට ඊශ්වර ගණපතිගේ හිස කදින් වෙන් කොට දමා ඔහු මිය යාවි වැයි බයෙන් තම විල වෙත පැමිණි ඇතාගේ හිස කපා ගණපතිගේ කදට සවි කරන ලද්දේලු.

*****************************
මේ තවත් ජනප්‍රවදයක්

කතරගම හෙවත් ස්කන්ධ කුමාරයා හා ගණ දෙවියන් යන සහහෝදරයන් දෙදෙනාගෙන් ඥානවන්තයා කවුරුදැයි විමසීම පිණිස උමයංගනාව දිනක් අපූරු පර්යේෂණයක් කර තිබේ. ඔවුන් දෙදෙනා ළගට කැදවා හැකි ඉක්මනින් කරදිය වළල්ල වටේ හත් වරක් ගමන් කොට ඒමට කියා තිබේ. මෙම අභියෝගය ස්කන්ධ සහ ගණ යන සහොදරයන් දෙදෙනා විසින් පිළිගෙන ඇත. ඒ අනූව ස්කන්ධ කුමාරයා ලංකාද්වීපය වටා හත්වාරයක් ගමන් කරන්නට පටන් ගෙන තිබේ. ගණදෙවියා ඒ අතර කුස්සියට ගොස් ලුණූ පොල්කටුව වටා හත්වතාවක් ගමන් කොට මව වෙත පැමිණ තිබේ. පසුව මේ ගැන විමසීමේ දී තම දරුවන් දෙදෙනාගෙන් ගණ ස්කන්ධට වඩා ඥානවන්ත බව පිළිගෙන එතැන් සිට ඔහු නුවණට අධිපති දේවතාවා වශයෙන් සළකන්නට පටන් ගෙන තිබේ.

ඉහත සදහන් සංසිද්ධි විමර්ශනාත්මකව බැලීමේදී ප්‍රකට වන කරුණක් වන්නේ ජනශ්‍රැතිකාංගයක් වන ජනප්‍රවාද දෙවිවරු සම්බන්ධව නිර්මාණය වීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුනර තිබෙන බවය. සෑම දේව පුරා වෘත්තයකම මෙවැනි ජනප්‍රවාද නිර්මාණය වී ඇතැයි පැවසීම සාවද්‍ය නොවන්නේය.

අයියනායක දේව පූජාවකදී අප විසින් ලබාගත් වීඩියෝ කිහිපයක්.....

කොල්මුර කවි





Tuesday, October 6, 2015

බුවනෙකබා අපේ සිංහරාජ චාරිකාව


බුවනෙකබා අපි නොකඩවාම 12 වරටත් අපේ වාර්ෂික චාරිකාව මෙරත් සංවිධානය කලා. අපේ යෞවන සමාජය සහ ක්‍රිඩා සමාජයේ බොහෝ දෙනෙක් මේ වන විට අපෙන් ඈත් වෙලා ගිහින් තිබුණත් ගොඩක් අමාරුවෙන් හරි අපි කට්ටිය එකතු කරගෙන අමාරුකම් මැද්දෙ උනත් මේ ගමන ගියා.

මෙවර අපි ගියෙ බෝපත් ඇල්ල සහ සිංහරාජ වනාන්තර නරඹන්න. පළමු දිනයෙ වට්ටාරම පන්සල වැදගත්ත අපි පස්සෙ මුලු දවසම ගත කලේ බෝපත් ඇල්ල අසලමයි. වර්ෂව ඉතා තදින් ඇද හැලුනත් අපේ සහෝදරයන්ට නම් එයින් බාධාවක් වන බවක් කොහොමටවත්ම පෙනුනෙ නෑ. හවස 5ත් පහු උනා අපේ නවාතැන වුන සංජීව සහෝදරයගෙ යාළුවගෙ රත්නපුරේ නිවසට යනකොට. 

ඇත්තෙන්ම අපි මතක් කරන්න ඕන සංජීව සහෝදරයගෙ ඒ යාලුව ඒ වගේම ඔහුගෙ, බිරිද, ඔහුගෙ මල්ලි ඒ වගේම ඔහුගෙ ආදරණීය මෑනියන් අපිට ඉතාමත් ලෙන්ගතුව ආදරෙන් සැලකුවා. අපි හදවතින්ම ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනව. .

පහුවදා තමයි අපි සිහරාජ වනාන්තරය නරඹන්න ගියෙ. ඒ සුන්දර ගමනෙදි අපේ කැමරා ඇසට හසු වුන අමතක නොවන දසුන් කිහිපයක් තමයි මේ......


වට්ටාරම පන්සලේදී

වට්ටාරම පන්සලේදී

බෝපත් ඇල්ලට යන ගමන්
දැක්කම මොනාද හිතෙන්නෙ

මහ වැඩසි මැද ගත්ත ෆන් එක

බෝපත් ඇල්ලේ සමීප දසුනක්


බෝපත් ඇල්ලෙ කවුරුත් නොයන තරම් ළගටම ගිහින්

මහ වැසි මැද නොනැවතී

වැස්සටවත් නවත්තන්න බැරි වුන ෆන්

ගීත ලොවේ මත්වී

සීතලට

කුමාර්ගෙ අමතක නොවන පරිප්පු හොද්ද

බන්දු අයියගෙ සම්බලේ ඇනිල්ල

කෑම බෙදන ගමන්

උදේට උයන ගමන්

සුපිරිම උදේ කෑමක්

සිංහරාජයට පෙර ගමන්

සිංහරාජ වනන්තරය ඇතුලෙදි

සිංහරාජ වනන්තරය ඇතුලෙදි

මංජු මල්ලි සැපටම නිදි





සිංහරාජෙ ඇතුලෙදි වුනත් මීට වඩා සැපක් කොහෙද


අපේ සෙට් එක